Showing posts with label සිතේ ඇ‍ෙඳන කවි. Show all posts
Showing posts with label සිතේ ඇ‍ෙඳන කවි. Show all posts

Thursday, January 12, 2012

එපා යන්න ඉමෙන් එහා...

එපා යන්න ඉමෙන් එහා...

උස අත්තක මලක් වෙලා නුඹ පිපිලා තිබුනා
තටු සලමින් බඹරලියන් නුඹ අසලින් රැඳුනා
පියාඹන්න අත්තටු නැති මට හරි දුක හිතුනා
ඒ උනාට උදේ හවා ඈතින් නුඹ පෙනුනා

තටු නැතිමුත් බිම හුන් මට නුඹේ සුවඳ දැනුනා
ඒ සුවඳට හිමි නැතිමුත් මගෙ හද ලොබ බැඳුනා
ඉහලින් සිටි නුඹ හට මා නොපෙනෙන බව හැඟුනා
නුඹ නොදකින අසරණ මගෙ හිත හොඳටම රිදුනා

සිප ගන්නට බැරි වුනාට නුඹ පිසගෙන හමනා
මඳ පවනේ නුඹේ සුවඳ පොද දැවටී තිබුනා
ඒ සුවඳින් ළය පුරවාගෙන මා දිවි ගෙවනා
එපා යන්න ඉමෙන් එහා මගෙ දෑසට පෙනෙනා


***

Tuesday, July 20, 2010

මිළින වෙලා යන්න එපා


ළඟින් මගේ ඉන්න
එපා දුරක යන්න
මා හැර යන්නට සිතුවේ
කෙළෙසද පවසන්න .

තව පොඩ්ඩක් ඉන්න
මට නම් බෑ යන්න
උයන් තෙරේ එදා රැඳී
කී ලෙස මුමුණන්න .

තිසරු ළමැද උන්න
වැහැරීගෙන යන්න
හේතු උනේ පිය පදවිය
නුඹ වෙත පුද දුන්න .

මගෙන් ඉවත යන්න
නොනිත් වෙහෙස ගන්න
නුඹ දුන් දුක හේතු උනා
මා ගත වැහැරෙන්න .

නුඹ මා වෙත දුන්න
සෙනේ නොසෑහෙන්න
සිහිනෙන් ගත තවරාලූ
මුදු සුවඳක් වැන්න .

නුඹ මගේම වෙන්න
නුඹ මා ළඟ ඉන්න
මිළින වෙලා යන්න එපා
පිපුණු පැතුම් ගොන්න.

Friday, April 23, 2010

සමුගනිමි


මැයි පළමුවෙනිද ඉඳන් මම අළුත් කාර්යාලයකට යනවා.ඉතින් මම මේ තරම් දවසක් කවියක් ලීවෙ බ්ලොග් එකේ මොනවහරි සටහනක් දැම්මෙ මගේ මේ පැය අටේ නවාතැන්පළේදි.ළබැඳි අය වගේම උඩින් මිතුරු යටින් හතුරු අය ඕනැ තරම් හිටියත් දාල යන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතයට දැනෙනව.ඒත් ඉතින් යන්නම වෙනවනේ.ගෙදරදි මට මොනවත් ලියන්න ඉඩක් නැහැ. හැඟීම් මැරිච්ච ගානයි ගෙදරදි.පැටවු දෙන්න ලගදි නම් හිත පිරිල තමයි.මම මෙතෙක් කල් ඔයාලගෙ බ්ලොග් කියෙව්ව.රස වින්ද.ගොඩක් වෙලාවට හිතට දුකක් දැනුනම මම කලේ සින්ඩියට එන එක.ආටෙයමත් අළුත් කාර්යාලෙ හුරු උනාම ක ඳුළු බිංදුවක් වැටෙන වෙලාවක මම කවි පදයක් අමුනන්නම්.එතෙක් මගේ යාළුවනේ ඔයාලට සුබ අනාගතයක්!

සිහින තරුකැට බිඳී විසිරී මලාණික සඳ එළිය ගලනා
අඳුරු අහසේ හුදකලා වී උඩු සුළඟ හා හැපී බදනා
සොයා ගිය හවු හරණ මිරිඟුව විලස ඈතින් ඈත ඇදුනා
සවිය ගිලිහුන යුග පියාපත් දරාගනු බැරි ලෙසින් රිදුනා.

කැදැල්ලේ තිබු සතුට සැනසුම බි‍ෙඳ න් බිඳ සි‍ෙඳනා පැයේ
කඳුළු බිඳුවක් තුළට ගොනුකර වේදනා දුක් මගෙ ළයේ
ඔබට කීවෙමි සැමට රහසින් හෙලිවෙතැයි සිටියත් බියේ
ඔබේ වදනින් ළබැ ඳි ඇසුරින් සැනසුමක් අද ම‍ට තියේ

නවාතැන්පළ වෙනස් වී ඇත හිඳීන්නට නොහැකිය නොයා
නෙතින් වට කඳුළකින් සමුගමි කඳුළු බිඳුවට තිත තියා
හද ගැබේ එක් කොනක විසිතුරු සිහිනයකි ඔබ පෑ දයා
ඉසුඹුවක් ලද මතු දිනක මම නැවත එන්නෙමි ඔබ සොයා......

Wednesday, April 14, 2010

මගේ අවුරුද්ද

එරබදු මලින් පිරි අතු සුළගට පැද්දේ
කරගෙට නගති කෙවිලිය කොවුලිඳු සද්දේ
වාරම් නැතත් ඔන්චිල්ල‍ාවන් පැද්දේ
පුහුලන් කන්න වවුලන් පොරකති බැද්දේ

අවුරුදු සිරිය දැක මගෙ හිත මල් පිපුණා
කැවුමක කොණ්ඩයක් ගන්නට මට හිතුනා
තෙල් හැඳි ඉරටු සැනෙකින් මා අත රැදුනා
කැවුමක් නොවේ රොටියක් තෙල් මැද තිබුණා

නැන්දම්මාගෙ මුහුණේ පිරි උපහාසේ
ඊටත් වැඩියි හිමි මට කල අපහාසේ
කැවුමක් කන්න නිදිගැට හැර සිටි දෑසේ
පොඩි පුතු මගේ ලිප ළග හිඳ උපවාසේ

දවසට පැය අටක් සෙස්වාවෙහි යෙදුන
හවසට පණ අඩක් අරගෙන ගෙට වැදුන
අවසන මැදියමේ නුඹගේ ලග රැ‍ඳුන
මව නම් නොමැත පුතුනේ පිසුමෙහි නිපුණ

බිත්තර බටර් පිටි වැනිලා එක බඳු‍ෙන්
පදමට පදම් කර උඳු‍ෙන් මැද දැවුනේ
ලස්සන සීනි මල් කොළ ඒ මත රැඳු‍ෙන්
දන්නේ මෙච්චරයි කාපන් මගෙ පුතුනේ

නැන්දම්මගෙ අතින් බැදුනා කොණ්ඩ කැවුම්
මා හැදු කේක් ගෙඩියේ මල් රටා සියුම්
පොඩි පුතු ගසයි සතුටින් අප වටේ රවුම්
සමගිය සමග ලැබු අවුරුදු සතුට නැවුම්.

Tuesday, April 6, 2010

සැනසුම


පාළුවෙන් පිරුණ - සුසුම රජ කෙරුන
කැදැල්ලට නැවත - වසත් කල පැමිණ

මල් සුවඳ ගලයි - සිනා හඬ ඇසෙයි
පොඩි දෝණි හඬයි - එයත් ලස්සනයි

අම්මෝ චාච්චෝ - විටෙක කෑ ගසයි
අයියෝ ආච්චෝ - අමුතු බස් ගොඩයි

විටෙක වී උරණ - බිම වැටී හඬන
ඇසිල්ලෙන් නැගිට - සිනාසෙන අරුම

රැගෙන පිය උරුම - ගෙනා තරු දෙනෙත
අතීතෙක මතක -උපදවයි මහද

තරු දෑස විදා -තුටින් හිනැහෙන්න
හැමදාම දුවේ - සුවෙන් ඔබ ඉන්න

නිවී ගිය සෙනේ - පහන් දල්වන්න
කැදැල්ලට සදා - සතුට ගෙන එන්න

Tuesday, February 2, 2010

අනේ මා මියැදුනා නම්. . .




මලානික සඳ පාළු නුබ ගැබ
අඳුර යන්තම් දුරු කළා.
කුරවි කෙවිලිය ගොළුවෙලා අද
කැදැල්ලේ ඈ තනිවෙලා.
නිහඬ බව බිඳි බකුසු යුවලත්
ඉගිල යද්දී තටු සලා.
ඉසුඹුවක් නැති මගේ නුවන’ග
තිබූ කඳුළක් යයි ගලා. . .

තුරු ලතා තුල සොඳුරු බව නැත
අඳුරු සෙවනැලි මතුවෙලා.
පරව ගිය නා මලක් නටුවෙන්
මිදුනි දුක් සුසුමක් හෙලා.
මුණු මුණුව නැත ගං දියේ අද
එයත් ඉකිබිඳුමක් වෙලා.
රැයෙහි වට පිණි කඳුළු වැලපේ
මගේ කඳුළට එක් වෙලා. . .

සොඳුරු බව තුල අඳුර සැඟවී
තිබෙන බව වැටහුනා නම්. . .
සෙනේ සිත තුල මේ කුරිරු බව
එදා මට හසු උනා නම්. . .
සමවැදී හුන් දැහැන මාගේ
නුඹ නෙතින් නොබිඳුනා නම්. . .
ඔබේ සෙනෙහස මියෙන්නට පෙර
අනේ මා මියැදුනා නම්. . .

Tuesday, January 19, 2010

පෙම...

දෑල ගං ඉවුර සෙනෙහසින් සිඹින
නිසල ලෙස සෙමින් සයුර වෙත ගලන
ගං දියක රැදුන චණ්ඩ බව නොදැන
පෙම් කළෙමි සිතින් කිව නොහැකි පමණ...

ගං දෑල කඩා රුදුරු ලෙස බිදින
රකුසු වෙස් අරන් මහ හඩින් ගලන
ජල කදක් වෙලා බොර මඩින් පිරුණ
පෙම විසුණු කළා මා හදේ රැදුන....

Wednesday, December 23, 2009

එදා මෙදාතුර . . .

දම්පල් උයන සමනළ පාලම ඔස්සේ
ගල්පඩි නැගන් ගල් බැම්මේ ගල් අස්සේ
අත්වැල් බැඳන් තෙමි තෙමි පෙම් මල් වැස්සේ
උන් හැටි සීනයක් විය කලකට පස්සේ

නිසල සයුර රුදුරුව වෙරළට ඇදුනා
සමනළ පාලමේ ලස්සන තටු බිඳුනා
පැතුව ලෙසම ඔබ මා අතිනත බැඳුනා
තිබුන සෙනෙහෙ ගං දිය පතුලට හිඳුනා.

Monday, November 16, 2009

කැඩපතක කව

සුරුවමට මැද සුවඳ කවමින්
පැහැය ගලපා වෙහෙස දරමින්
වැවූ දිගු නිය හිස පුරා යවා
පෙනෙන නර කෙස් උගුල්ලා දමන. . .
පෙම් කවක් සෙමෙන් උරුවම් බාන. . .
නුඹ මගේ අබිමුව,
තත්පර. . .විනාඩි. . .පැය. . .
දැනුනෙ නෑ නේද නුඹහට
ගතව ගිය කාලය.
ඒත් මට මතකයි
තුදුස් වසරකට පෙරදිත්
නුඹ මෙසේ හැඩ උනා
ඒත් එදා තිබුනෙ නෑ නරකෙස්
නුඹට අමතකද මන්දා
හිටියෙ නෑ නේද මේ දෙදරුවන්
බලාපන් මා දිහා නෙත් හොඳින් පිසදමා
ඒ ඉන්නෙ පියෙකු මිස
කොලු ගැටයෙක් නෙමෙයි නේද
පෙම්වතෙක් වෙන්නට සුදුසු. . .

Wednesday, November 4, 2009

නුඹේ සුවඳ

සඳ එළිය ගැලුවා
කුමුදු මල් පිපුණා
සපු මල් සුවඳ අතරින්
නුඹේ ජීවන සුවඳ දැනුනා...

අමාවක ලැබුවා
කුමුදු පෙති හැලුනා
පරව ගිය සපු මල් පියළි මැද
නුඹෙ සුවඳ සැඟවුනා දැනුනා....

Thursday, October 29, 2009

අමතකද නුඹට

මුදු පවන් වැදෙන - සකුණ ගී ඇසෙන
නිලඹරේ පුරා - සරා සුව විඳින
කිරිල්ලක වෙලා - නුඹ ළඟින් රැඳුන
අමතකද නුඹට - මට මතක එදින

තුඩින් තුඩ බෙදා - සුරත් ඵල බුදින
කැදැල්ලක් තනා - එකට ළඟ රැඳුන
කිරි සුවඳ ගලා - කැදැල්ලම පිරුණ
අමතකද නුඹට - මට මතක එදින

නුඹේ රළු තුඩින් -සුමුදු තටු සිඳුන
කිරිල්ලකි මෙමා - කූඩුවක රැඳුන
රහසකින් පමණ - වරද නොම බැඳුන
පෙළන්නට මෙමා - කියනු කිම කරුණ.