Monday, May 6, 2013

සහනය

සඳ සෙමෙන් බසින - නුබ ගැබේ කොනක
හෙමි හෙමින් එබෙන - ළහිරු කැන් පොදක
විඩා බව පිරුණ - තවත් එක් දිනෙක
ඇරඹුමක ලකුණු - සිහිකරයි මතක

සයනයේ කොනක - උණුහුමට නතුව
තව තවත් මටම - ගුලි වෙන්න පැතුව
ටිකිරි පැටි කෙල්ල - පොරෝණෙක එතුව
කොඳුරමින් හඬයි - මා ළඟක නැතුව


තුරුළුවී දුවට  -  ගුලිවෙලා ඉන්න
හුරතලෙන් වදන් - හෙමින් මුමුණන්න
ඉඩක් නැති මවට - එපා ඔරවන්න
සමු දෙන්න දුවේ - දවස අරඹන්න

හිමි සඳුට පුතුට  - සීනි කිරි කහට
අම්මාට වෙනම - සීනි නැති කහට
හදාගෙන  රැගෙන - ගියත් මා ළඟට
දැනෙයි බෝ වෙහෙස - විඩාබර ගතට

උදේ බත සමග - දවල් බත එකට
මාළුපිණි වෙනම - ඇතිලියට  දෙකට
ගිණි ගසා පිසිමි - කියමි රස කුමට
නිවා කුස ගින්න - ගිනි තබයි සිතට

යුද්ධයක් වගේ - ගෙවුණු පැය දෙකක
නිමාවක් නැතත් - ලැබුනු ඉසුඹුවක
පනාවක් ගසා - නැගි කියුඹු රැලක
මුව දොවා ගනිමි - ලකුණු ඇති දුකක

යුද්ධයක ලකුණු - තිබෙන වැඩ ගොඩක
නිමාවක් නොවන - කොමාවක් තබන
බිරිඳ චරිතයෙන් - මිදෙමි මා හනික
කන්තෝරු ලියකි - සාරියක එතුන

කන්තෝරු කාමරේ - ගෙවන පැය අටම
යන්තරය වගේ - තවම නැත ඉවර
කොතෙක් වැඩ කළත් - ඉසුඹු නොම ලැබෙන
ගෙදර තව සැපයි - දහස්වර සිතින

හති දමන් දුවන - කටුක දිවි ගමන
කොතනවත් නොමැත - සිත පතන සහන
දරු පැටවු සමග - නුඹේ ළඟ හිඳින
රැය පමණි සුවය - මා නිතින් විඳින

3 comments:

  1. බැදීම් හරිම පුදුම දෙවල්... හැමදාමත් වගෙ මම ආවා පරණ කවි ටික රස විඳලා යන්න

    ReplyDelete
  2. මම හිතුවෙ දැන් කවුරුවත් එන්නෙ නෑ කියල.පුදුම වෙන්න එපා.ඇත්තටම ආදරෙන් බැඳිල උන්නම ඒක අමතක කරන්න අමාරුයි මල්ලියෙ.මම ඉඩ තියෙන වෙලාවට ඔයාලගෙ ලිපි,කවි කියවනව.ඒත් මට ලියන්න වෙන්නෙ නැහැ.

    ReplyDelete