Monday, May 6, 2013

සහනය

සඳ සෙමෙන් බසින - නුබ ගැබේ කොනක
හෙමි හෙමින් එබෙන - ළහිරු කැන් පොදක
විඩා බව පිරුණ - තවත් එක් දිනෙක
ඇරඹුමක ලකුණු - සිහිකරයි මතක

සයනයේ කොනක - උණුහුමට නතුව
තව තවත් මටම - ගුලි වෙන්න පැතුව
ටිකිරි පැටි කෙල්ල - පොරෝණෙක එතුව
කොඳුරමින් හඬයි - මා ළඟක නැතුව


තුරුළුවී දුවට  -  ගුලිවෙලා ඉන්න
හුරතලෙන් වදන් - හෙමින් මුමුණන්න
ඉඩක් නැති මවට - එපා ඔරවන්න
සමු දෙන්න දුවේ - දවස අරඹන්න

හිමි සඳුට පුතුට  - සීනි කිරි කහට
අම්මාට වෙනම - සීනි නැති කහට
හදාගෙන  රැගෙන - ගියත් මා ළඟට
දැනෙයි බෝ වෙහෙස - විඩාබර ගතට

උදේ බත සමග - දවල් බත එකට
මාළුපිණි වෙනම - ඇතිලියට  දෙකට
ගිණි ගසා පිසිමි - කියමි රස කුමට
නිවා කුස ගින්න - ගිනි තබයි සිතට

යුද්ධයක් වගේ - ගෙවුණු පැය දෙකක
නිමාවක් නැතත් - ලැබුනු ඉසුඹුවක
පනාවක් ගසා - නැගි කියුඹු රැලක
මුව දොවා ගනිමි - ලකුණු ඇති දුකක

යුද්ධයක ලකුණු - තිබෙන වැඩ ගොඩක
නිමාවක් නොවන - කොමාවක් තබන
බිරිඳ චරිතයෙන් - මිදෙමි මා හනික
කන්තෝරු ලියකි - සාරියක එතුන

කන්තෝරු කාමරේ - ගෙවන පැය අටම
යන්තරය වගේ - තවම නැත ඉවර
කොතෙක් වැඩ කළත් - ඉසුඹු නොම ලැබෙන
ගෙදර තව සැපයි - දහස්වර සිතින

හති දමන් දුවන - කටුක දිවි ගමන
කොතනවත් නොමැත - සිත පතන සහන
දරු පැටවු සමග - නුඹේ ළඟ හිඳින
රැය පමණි සුවය - මා නිතින් විඳින