Tuesday, February 2, 2010

අනේ මා මියැදුනා නම්. . .




මලානික සඳ පාළු නුබ ගැබ
අඳුර යන්තම් දුරු කළා.
කුරවි කෙවිලිය ගොළුවෙලා අද
කැදැල්ලේ ඈ තනිවෙලා.
නිහඬ බව බිඳි බකුසු යුවලත්
ඉගිල යද්දී තටු සලා.
ඉසුඹුවක් නැති මගේ නුවන’ග
තිබූ කඳුළක් යයි ගලා. . .

තුරු ලතා තුල සොඳුරු බව නැත
අඳුරු සෙවනැලි මතුවෙලා.
පරව ගිය නා මලක් නටුවෙන්
මිදුනි දුක් සුසුමක් හෙලා.
මුණු මුණුව නැත ගං දියේ අද
එයත් ඉකිබිඳුමක් වෙලා.
රැයෙහි වට පිණි කඳුළු වැලපේ
මගේ කඳුළට එක් වෙලා. . .

සොඳුරු බව තුල අඳුර සැඟවී
තිබෙන බව වැටහුනා නම්. . .
සෙනේ සිත තුල මේ කුරිරු බව
එදා මට හසු උනා නම්. . .
සමවැදී හුන් දැහැන මාගේ
නුඹ නෙතින් නොබිඳුනා නම්. . .
ඔබේ සෙනෙහස මියෙන්නට පෙර
අනේ මා මියැදුනා නම්. . .