Wednesday, December 23, 2009

එදා මෙදාතුර . . .

දම්පල් උයන සමනළ පාලම ඔස්සේ
ගල්පඩි නැගන් ගල් බැම්මේ ගල් අස්සේ
අත්වැල් බැඳන් තෙමි තෙමි පෙම් මල් වැස්සේ
උන් හැටි සීනයක් විය කලකට පස්සේ

නිසල සයුර රුදුරුව වෙරළට ඇදුනා
සමනළ පාලමේ ලස්සන තටු බිඳුනා
පැතුව ලෙසම ඔබ මා අතිනත බැඳුනා
තිබුන සෙනෙහෙ ගං දිය පතුලට හිඳුනා.

Thursday, December 17, 2009

නිහැඩියාවකට පසු..

පරිඝණකයෙන් ලියුමක් හදාගන්න (පුහුණුව ලැබුව cigas,payrole වගේ දේවල් හැරුණම)යන්තම් අන්තර්ජාලය දිගේ ගිහින් පත්තර පිටුවක් කියවගන්න විතරක් දැනගෙන උන්න මට බ්ලොග් එකක් හදල දුන්න වත්.. නංගිට පින් සිද්ධ වෙන්න මම අද මගේ තනිකම අකුරු කරනව.නැත්නම් ඉතින් කොල කෑලි පිරෙන්න ලියල dustbin පුරවනව විතරයි.ගොඩක් දවසකින් ලියන්නෙ.උණ හැදිල හිටිය.සනීප වෙලා ආ ගමන් කාර්යාලයෙන් යවන පුහුණුවකට ගියා.කොහොමටත් දෙසැම්බර් වල කාර්යාලයම කාර්ය බහුලයි.මම ගොඩක් අයගෙ බ්ලොග් කියවනව.ඒවට මොනවහරි ලියන්නත් ආසයි.ඒත් මට ලියවෙන්නෙම මගේ හිතට හිතෙන විදියෙ දුක්බර දේවල්.ඒකයි නොලියන්නෙ.කවුරුත් හිතාවි මම මහා අසුබවාදී කෙනෙක් කියල.ඇත්තටම හැමදාම දුක හිතෙන දේවල් වලට මුහුණ දෙන කෙනෙක්ගෙ හිතෙන් ඉපදෙන නිර්මාණත් දුක්බරයි තමා.ඒ නිසා ලස්සන දෙයක් හිතුන දවසකම කවියක් අකුරු කරන්නම් කියල හිතුව.දවසෙ වැඩ ගොඩ අස්සෙන් චූටි පැටික්කි උම්මා කුක්කු කියනව ඇහෙනව.ඒ නිසා නවතින්න ඕන මෙතනින්.

Tuesday, November 24, 2009

සති අන්තෙ ගාලු කොටුවට ගියා.

සති අන්තෙ ගාලු කොටුවට ගියා.මම නම් ඕනැ තරම් ගිහින් තියෙනව.අතීතෙදි.මෙදා ගියේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුත්තකට.අපි යන කාලෙ වගේ නෙමෙයි.අද ඉන්න පෙම්වතුන් දිහා බලන්නත් අපහසුයි මේ අවුරුදු හතර පහට මිනිස්සු ගොඩාක් පිරිහිලා කියල මට හිතුන.පුතා පොඩි නිසා අමතර ප්‍රශ්න ඇහුවෙ නැහැ.ඒක හිතට අස්වැසිල්ලක් උනා.පවුරෙ එක කොනක ලස්සන පවුලක්.පුංචි එවුන් දෙන්න අයිස් පලම් දෙකක් කකා පිම්මෙ දුවපැන ඇවිදිනව.අම්මයි තාත්තයි ලස්සනට තුරුළුවෙලා(අසභ්‍ය විදියට නෙමෙයි)මොනවදෝ තොර තෝංචියක් නැතුව කතාව.ඉස්සර එයාලත් පෙම්වතුන් වෙල ඉද්දි ආව ගමන් ගැන වෙන්න ඇති බාග වෙලාවට.ඒ අතර මැද චූටි එවුන් දෙන්න ගැනත් බලනව.මම බැලුවෙ මගේ දරුවන්ගෙ තාත්ත දිහා.තවම ඈතට නොගිය යෞවනය මම ඒ දේට පොළඹවන්න ඇති.ඒත් ඔහු අන්ධයෙක් ගොළුවෙක් ගානට සිතිජය දිහා බල‍ාගෙන.අතීත මතක හිතට ගලා එද්දි මට දැනුනෙ දරාගන්න බැරි දුකක්.වේදනාවක්.හිතේ දුකත් නෙතේ පිරුණු කදුලුත් අතරින් මම බලා උන්නෙ අර ලස්සන පවුල දිහා.ඒ තාත්තගෙ සෙනෙහෙ පැටවුන්ට වගේම අම්මටත් ලබා දෙන සතුට,රැකවරණය මහමෙරක් වගේ.‍මට එහෙම සතුටක් රැකවරණයක් නැතත් මගේ පැටවුන්ට ලැබෙන සෙනෙහස ගැන හිතල මම සැනසුනා.ඒත් ඒකත් කවුරුහරි උදුරගන්න හදනව වගේ හැගීමක් ඉවක් මට මෑතක ඉදල දැනෙනව.(දෙයියනේ එහෙම නම් වෙන්න එපා)මමපොඩියකට හරි ලැබූ සතුට ගුලිකරල අකුලගන්නව වගේ එයාල ඉදගෙන උන්න කොලෙත් අකුලගෙන හරි බරි ගැහිල පුංචි පවුල පිටින්ම එයාලගෙ යතුරු පැදියට ගොඩ උනා.මම නොලියුව කවිය ඒ ආදරණීය ගැහැණියගෙ ඇස් ඇතුලෙ මම දැක්ක.යද්දිටත් වඩා ලොකු බරක් හිතේ දරාගෙන ආපහු ආවත් දැනටත් මගේහිතේ ඒ සුන්දර පුංචි පවුල ලැගුම් අරන් ඉන්නව. මේ තරම් කාලයක් (මම හිතන්නෙ අවුරුදු පහක් ...)හිතෙන් විදවපු මට ,කොල කෑලිවල ලියල කාටවත් නොපෙන්න වීසිකරල දැම්ම මට මේ වගේ ලියන්න කියල දුන්න නංගියට පින් සිද්ධ වෙන්න මම දැන් ටිකක් විතර සතුටින් ඉන්නව කියලත්මට හිතෙනව.ඒත් කියාගන්න බැරි දුකක් එක්ක මම තනිවෙලා කියලත් මට හිතෙනව.දැනට ලියන්න පුළුවන් වෙලාව ඉවරයි.දවසෙ ඉතිරි වැඩට මම යොමු වෙන්න ඕන.

Thursday, November 19, 2009



කළා වැව හි‍ෙඳනවා... ආයෙමත් පිරෙනවා...
මගේ හිත බි‍ෙඳනවා... ආයෙමත් හැදෙනව‍ා...

සිඳුන වැව් පතුලේ...කටු කොහොල් පෙනෙනවා...
රිදුණු සිත් මඬලේ ... සෝ සුසුම් දැවෙනවා...

කළා වැව හි‍ෙඳනවා... ආයෙමත් පිරෙනවා...
මගේ හිත බි‍ෙඳනවා... ආයෙමත් හැදෙනව‍ා...

පිරුණු වැව් ජලයේ ...සුදු නෙළුම් පිපෙනවා...
හැදුන හිත් මඬලේ ...පෙම් සුවඳ දැනෙනවා...

මේ සිංදුව ඇහෙද්දි මට හිතෙන්නෙ මගේ තත්ත්වෙ ඉන්න අය තවත් ඉන්නව නේද කියල . විරහවටම උරුම වුන කටහඬින් කියවෙන මේ සිංදුවට මම නම් ගොඩාක්ම ආසයි . කළා වැවේ නෙළුම් පිපුණ වගේ මගේ හිතටත් ආයෙම පෙම් සුවඳ දැනේවිද (පරණ , සුපුරුදු ළඟම තිබුණත් මට විඳින්න උරුම නැති මගේම වෙලා තිබ්බ සුවඳ )

Monday, November 16, 2009

හිනා එයිද. . . යයිද. . .

යැංකියො හැම තිස්සෙම වැරදියි.


මගීන්ගෙන් පිරී තිබූ දුම්රිය මැදිරියකකට ඇ‍ෙමරිකානුවෙක් ගොඩ විය.මැදිරියේ තිබූ එකම හිස් අසුනේ බලු පැටික්කියක් නිදාගෙන සිටියාය. බලු පැටික්කියගේ අයිතිකාරිය වූ නෝනා මහත්මිය ඊළඟ අසුනේ වාඩිව සිටියාය.

බලු පැටියා බිම තබා තමා එම අසුනේ ඉඳගන්නදැයි ඇ‍ෙමරිකානුවා නෝනාගෙන් විමසීය.

“බලු පැටියට අතවත් තියන්න එපා. . . “ නෝනා නපුරු ස්වරයෙන් කීවාය.

ඇ‍ෙමරිකානුවාට දුම්රියේ වෙනත් අසුනක් සොයාගන්නට නොහැකි විය.ආපසු එම මැදිරියට පැමිණි ඇ‍ෙමරිකානුවා බලු පැටියා ඔසව‍ා ජනේලයෙන් ඉවතට දමා එම අසුනේ ඉඳගත්තේය.

“මේ යැංකියා මගේ බලු පැටියට කල දේ දැක්කද” කෑ කෝ ගසන්නටත් හඬන්නටත් පටන්ගත් නෝනා අනෙක් මගීන්ගෙන් විමසුවාය.

යැංකියො හැමදේම කරන්නෙ වැරදියට.ඒ ගොල්ලො ගෑරැප්පුව අල්ලන්නෙ වැරදි අතින්,කාර් එලවන්නෙ වම්පැත්තෙන්. . .දැන් බලන්න මේ බූරුවා - එළියට දැම්මෙත් වැරදි බැල්ලි ව. . .



මං දන්නව.

බස් රථයේ සිටි ගැබ්බර කාන්තාවක් දුටු කුඩා සුපුන් එම නෝන‍ාට කුමක් සිදුවී ඇත්දැයි සිය මවගෙන් විමසුවේය.

හැමවිටම නියපොතු හැපීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටින සුපුන් එම පුරුද්දෙන් ගලවා ගැනීමට උපායක් කල්පනා කරමින් සිටි සුපුන්ගේ මව මෙසේ කීවාය.

“ඒ නෝනගෙ බඩ ලොකු වෙලා තියෙන්නෙත් ඔයා වගේ නියපොතු කාල තමයි.”

ඉන්පසු සුපුන් වඩාත් ඕනෑකමින් එම ගැබ්බර කාන්තාව දෙස බල‍ා හිඳින්නට විය.
සුපුන් තමා දෙස විමතියෙන් බලා සිටිනු දුටු එම කාන්තාව මෙසේ ඇසුවාය.
“ඇයි බබෝ මොකද ඔයා බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නෙ”

“මං දන්නව ඔයාගෙ බඩ ලොකු වෙලා තියෙන්නෙ කොහොමද කියල” සුපුන් පෙරලා ඇයට පිළිතුරු දුන්නේය.

කැඩපතක කව

සුරුවමට මැද සුවඳ කවමින්
පැහැය ගලපා වෙහෙස දරමින්
වැවූ දිගු නිය හිස පුරා යවා
පෙනෙන නර කෙස් උගුල්ලා දමන. . .
පෙම් කවක් සෙමෙන් උරුවම් බාන. . .
නුඹ මගේ අබිමුව,
තත්පර. . .විනාඩි. . .පැය. . .
දැනුනෙ නෑ නේද නුඹහට
ගතව ගිය කාලය.
ඒත් මට මතකයි
තුදුස් වසරකට පෙරදිත්
නුඹ මෙසේ හැඩ උනා
ඒත් එදා තිබුනෙ නෑ නරකෙස්
නුඹට අමතකද මන්දා
හිටියෙ නෑ නේද මේ දෙදරුවන්
බලාපන් මා දිහා නෙත් හොඳින් පිසදමා
ඒ ඉන්නෙ පියෙකු මිස
කොලු ගැටයෙක් නෙමෙයි නේද
පෙම්වතෙක් වෙන්නට සුදුසු. . .

Wednesday, November 4, 2009

නුඹේ සුවඳ

සඳ එළිය ගැලුවා
කුමුදු මල් පිපුණා
සපු මල් සුවඳ අතරින්
නුඹේ ජීවන සුවඳ දැනුනා...

අමාවක ලැබුවා
කුමුදු පෙති හැලුනා
පරව ගිය සපු මල් පියළි මැද
නුඹෙ සුවඳ සැඟවුනා දැනුනා....

Thursday, October 29, 2009

අමතකද නුඹට

මුදු පවන් වැදෙන - සකුණ ගී ඇසෙන
නිලඹරේ පුරා - සරා සුව විඳින
කිරිල්ලක වෙලා - නුඹ ළඟින් රැඳුන
අමතකද නුඹට - මට මතක එදින

තුඩින් තුඩ බෙදා - සුරත් ඵල බුදින
කැදැල්ලක් තනා - එකට ළඟ රැඳුන
කිරි සුවඳ ගලා - කැදැල්ලම පිරුණ
අමතකද නුඹට - මට මතක එදින

නුඹේ රළු තුඩින් -සුමුදු තටු සිඳුන
කිරිල්ලකි මෙමා - කූඩුවක රැඳුන
රහසකින් පමණ - වරද නොම බැඳුන
පෙළන්නට මෙමා - කියනු කිම කරුණ.